Saturday, May 10, 2014

What is the first batch of engineers to graduate from the Peradeniya Engineering Faculty? (This article is in Sinhala)



It seems that the first batch of engineers to graduate from the Peradeniya Engineering Faculty has been the batch entered the University in 1961 when the Faculty of Engineering was still a part of the university campus in Colombo.

This students, in their final year, have moved to the current faculty premises at Peradeniya and have graduated in 1965.

The following article, in Sinhala Language, describes a recent get-together they have had in Colombo, after 49 years since graduating.


ටකරන් ෆැකල්ටියේ බාහුගේ කණ්ඩායම පනස් වසරකට පසු යළි හමුවෙයි 


රත්මලාන සමුද්‍රාසන්නයේ පිහිටි SHORE By “O” හෝටලය පසුගිය දිනක සතුටු සිනහවෙන් පිරී ඉතිරී ගියේය. කෙළිලොල් කතාබහෙන් උතුරා ගිය සෙනෙ‍ෙහබරත්වය සයුරු පවන්පොද උකහාගෙන සත් සමුදුරෙනුත් එහා ඔවුන්ගේම සගයන් වෙත කැන්දාගෙන ගියේය.

මහවැලි නදී තෙර හන්තාන නිම්නයේ ගෙවී ගිය යොවුන් මතකයන් එතැනදී එකිනෙකා සිහිපත් ක‍ෙළ් මහත් ආශ්වාදයෙනි. එම යොවුන් මතකයන්ට වසර පනහක කාලයේ මුද්‍රාව සටහන් වී අද ඔවුන් අවුරුදු හැත්තෑවක වියපත් වූවන් බවට පත්කර තිබුණත් එදින SHORE By “O” හෝටලයේ රැඳී සිටි ඇත්තන්ගේ හදවත් විසේකාර යොවුන් වියේම විය.

“හරිම නිදහස් පරිසරයක්. ඔක්කොම අඳුනන අය. මේ ඔක්කොම වෙන වෙන සමාජ තත්ත්වවල ඉන්න අය. ඔවුන් ඒ සමාජ රාමුවලට කොටු වෙලා හැසිරෙන්නෙ එක එක විදියට. බොහෝ විට ආරූඪ කරගත් විදියට. නමුත් එතැන පරිසරය හරිම නිදහස්. සීමා මායිම් නැති අපේම අපේම අපේ ‍ලොවක්” එම ළෙන්ගතු ඇසුර ගැන ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අප හා පැවසුවේ එසේය.

මොවුන් අතරින් සමහරෙකු මුහුණට මුහුණ හමුවන්නේ වසර හතළිස් පහකටත් පසුවය. වසර හතළිස් පහක කාලය නපුරු වී, එකිනෙකා හඳුනාගැනීමට නොහැකි තරමටම හැඩ රුව වෙනස් වී ඇත්ද? කාලයේ පහරදීම් ගැන කිව නොහැක. එනිසාම සියලු දෙනාම තමන්ගේ නම සහ ලිපිනය ලියූ කුඩා ලේබලයක් කමිසයේ රඳවාගෙන සිටියහ.

අද මෙලෙස මෙතැන එක්රොක්ව සිටින්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් බිහිවූ ප්‍රථම ඉංජිනේරු කණ්ඩායමයි. ඒ එක්දහස් නමසිය හැටපහක් වූ ඈත අතීතයේය. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට සිංහල භාෂාවෙන් සහ ද්‍රවිඩ භෂාවෙන් පෙනී සිටි ප්‍රථම ඉංජිනේරු ශිෂ්‍ය කණ්ඩායම වූයේ ද ඔවුන්ය. මෙම කණ්ඩායමෙහි තවත් විශේෂත්වයක් විය. පිරිමින්ගෙන් පමණක් සංයුක්ත වූ අවසාන විශ්වවිද්‍යාල ඉංජිනේරු ශිෂ්‍ය කණ්ඩායම ද ඔවුහු වූහ.

විවිධ ආගම් හා නිකායන්ට අයත් පිරිස් ඔවුන් අතර වූහ. සිංහල ද්‍රවිඩ මුස්ලිම් බර්ගර් ආදී විවිධ ජාතීන්ට අයත් පිරිස් වලින් එම කණ්ඩායම සංයුක්ත විය. ඔවුන් සියලු දෙනාම ඉංග්‍රීසි මාධ්‍යයෙන් විශ්වවිද්‍යාල ඉගෙනුම ලැබූ නිසා එකිනෙකා පහසුවෙන් හඳුනාගත්හ. එකම භාෂා මාධ්‍යයක් භාවිතය නිසා ඔවුන් අතර ආගන්තුක බවක් ඇති නොවීය.

ඔවුන් ප්‍රථම වරට හමුවූයේ එක්දහස් නවසිය හැට එක වසරේ ජූනි මාසයේ දිනකය. ඒ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පාඨමාලාව හැදෑරීම සඳහාය. ඉංජිනේරු පැකල්ටියේදීය. සමහරුන් එය හැඳින්වූයේ “ටකරන් පැකල්ටිය” කියාය. ඒ, එහි වහල ටකරන් සීට්වලින් සෙවිලි කර තිබූ නිසාය.

“විවිධ ආගම්වලට විවිධ ජාතීන්ට අයත් සිසුන් සීයක් විතර අපේ කණ්ඩායමේ හිටියා. මාත් එක්ක ආනන්ද විදුහලෙන් දහදෙනෙක් එවර ඉංජිනේරු පීඨයට ‍ෙත්රුණා. රෝයල් එකෙන්, ගල්කිස්ස සෙන්ට් තෝමස් එකෙනුත් ඒ වගේ කට්ටියක් තේරිලා තිබුණා.” ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසන්නේ හැට එක වසරේ ඉංජිනේරු පීඨයට තේරුණු සිසුන්ගේ සංයුතිය පිළිබඳවය. නවක සරසවි සිසුන් ලෙස ඔවුහු ද නවක වදයට ලක්වූහ. රේස් පිටි වටේ වට තුන හතරක් දිවීම වැනි කටයුතු ඔවුන්ට නියම විය.

“නවක වදයට විරුද්ධව නැඟී සිටිය යුතුය කියල අපි ඉංජිනේරු ශිෂ්‍යයො තීරණය කළා. ආනන්දයෙ දහදෙනයි රෝයල් එකේ, සෙන්ට් තෝමස් එකේ කට්ටිය එකතු වුණාම තිහක් හිටියා. තවත් දහදෙනෙක් අපිට එකතු වුණා. හතළිහක පිරිසක්. ඒක නිසා බලගතු කම වැඩිවුණා.” ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න නවක වදයට විරුද්ධව කළ පළමු පෙළගැස්ම එලෙස විය.

විශ්වවිද්‍යාලයේ මුල් දිනවල ඔවුනට සම්පූර්ණ යුරෝපීය ඇඳුමෙන් සැරසී එන ලෙස ජ්‍යෙෂ්ඨයින් ගෙන් විධානයක් ලැබුණි. එලෙස සැරසුණු හතළිහේ කල්ලිය තර්ස්ටන් විදුහල අසලදී එකතු වී, ටයි පටි ගලවා, කබාය ද අතට රැගෙන විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට ගියහ. දොරටුව අසල ජ්‍යෙෂ්ඨයින් දහ පහළොස් දෙනෙක් රැස්ව සිටියහ.

“ෆුල් සූට් නැතිව යන්න දෙන්න බැහැ” ඔවුහු පැවසූහ.

“නැහැ අඳින්නෙ නැහැ”

“එහෙනම් ඇතුළට යන්න දෙන්න බැහැ”

“නැහැ. අපි යනවා. ඇයි අපිට ගහන්නද?” වික්‍රමබාහු තරමක ආවේගශීලීව ඇසීය.

“වික්‍රමබාහු ඔයා කරන දෙය වැරදියි” ජ්‍යෙෂ්ඨයින් අතර සිටි ආනන්ද සිසුවෙක් පැවසීය.

“ඔයගොල්ලොයි වැරදි” සන්සුන් හඬින් වික්‍රමබාහු පැවසීය.

“අපි උඹල එක්ක යාළුකම් තියාගන්නෙ නැහැ” අවසානයේ ජ්‍යෙෂ්ඨ සිසුහු ඉංජිනේරු සිසුන්ට ඇතුළුවීමට ඉඩකඩ දෙමින් පැවසූහ.
“ඒ වුණාට පස්සෙ ඒ අය අපි එක්ක යාළු වුණා” ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසන්නේ සතුටිනි.

“හැබැයි ඊට පස්සෙ ඉංජිනේරු පීඨයෙ නවකවදය අපි නැවැත්තුවා. ඒ තත්ත්වය හුඟ කාලයක් තිබුණා. දැන් ‍ෙකාහොමද දන්නෙ නැහැ.” එසේ පවසන්නේ හැට එකේ ඉංජිනේරු ශිෂ්‍ය කණ්ඩායමට ගාල්ල මහින්ද විදුහලෙන් එකතු වූ ආනන්ද ඩි. සිල්වාය. ඔහු සමඟ එවර ගාල්ල මහින්ද විදුහලෙන් ඩී.එච්.කේ.දයාරත්න ද එකතු විය.

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා ‘බාහු’ කියා හඳුන්වන්න මුලින්ම ආරම්භ වූයේ මෙම ඉංජිනේරු ශිෂ්‍ය කණ්ඩායම අතරය.

“රෝයල් එකෙන් ආපු ක්‍රිස් රත්නායක තමයි මුලින්ම මට බාහු කියල කතා කරන්න ගත්තෙ. ක්‍රිස් තමයි මගෙ රූමා. උඹට වික්‍රමබාහු කියල හැම තිස්සෙම කියන්න බැහැ බන්. මම උඹට බාහු කියන්නම්, ආචාර්ය වික්‍රමබාහු යොවුන් වියේ සුන්දර මතකයන් සිහිපත් කරයි.

“බාහු පස්සෙ කාලෙක වම් බාහු වුණා” ක්‍රිස් රත්නායක ඌණපූර්ණයක් එකතු කරයි. අනික් ඉංජිනේරු සිසුන්ට ද එවැනි පටබැඳි නම් විය.

“ක්‍රිස්ට කිව්වෙ චීන කියලා. එයාට පොඩි චීන පෙනුමක් තිබුණා. රෝයල් එකෙන් ආපු ශ්‍රීනාත් ජිනදාසට කිව්වෙ ජින්නා කියලා. අනුරාධපුරෙන් ආපු ජිනදාසට ජිනදාසය කිව්වා. W.A.L.රත්නායකට වල් රත්තා කිව්වා” ආචාර්ය වික්‍රමබාහු එකල තිබූ පටබැඳි නම් සිහිපත් කිරීමට උත්සාහ කරයි.

එක්දහස් නමසිය හැටතුනේ අවසාන කාලය වන විට පේ‍රාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය සඳහා වන ගොඩනැඟිලි ඉදිකර අවසන් වෙයි. එනිසා වික්‍රමබාහුලාගේ ඉංජිනේරු ශිෂ්‍ය පිරිසට පේරාදෙණියට මාරුවීමට සිදුවිය.

“ඒක අමුතුම අත්දැකීමක් වුණා. ඉස්සර විශ්වවිද්‍යාලයට ගියේ පුෂ් සයිකලේ. දැන් පයින්ම ගියෑකි. පරිසරයත් ලස්සනයි. හොඳ නේවාසිකාගාරයක හොඳම කෑම ලැබුණා” ආචාර්ය වික්‍රමබාහු ‍ෙප්රාදෙණිය සමය ගැන කියන්නේ එසේය.

“කොළඹ විශ්වවිද්‍යාලයට යන ගමනත් ඉස්කෝලෙ ගමන වගෙයි තිබුණෙ. උදේට විශ්වවිද්‍යාලයට එනවා. හවසට ගෙදර එනවා. පේරාදෙණියෙදි ඒ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වුණා.” ඒ, ආනන්ද ඩි. සිල්වාගේ අදහස්ය.

පේර‍ාදෙණිය විශ්වවිද්‍යාලයේ දී ඔවුනට නේවාසිකාගාර පහසුකම් සැලසුණේ අක්බාර් - නෙල් ගොඩනැඟිල්ලේ ඉහළම මාලයේය. ඉන් පහත තට්ටුවල නීති පීඨය වැනි වෙනත් පීඨවල සිසුහු නේවාසිකව සිටියහ.

“අපිට ලැබුණේ අලුත්ම ගොඩනැඟිල්ලක් නේ. ඒක නිසා ඒ පොළවෙ දූවිලි ගතිය ටිකක් තිබුණා. අපේ කට්ටිය හොස්ටල් එකේ කිචන් එකෙන් පොල්කුඩු ඉල්ලගෙන අපේ ෆ්ලෝ එකම මැදල සුද්ද කළා. දන්ත, වෛද්‍ය, ඉංජිනේරු ශිෂ්‍යයින්ට කූල්ටූර්ලනේ කියන්නෙ. කූල්ටූර්ල ඒ වගේ වැඩ කරනව දැක්කම හරමානිස්ල පුදුමයෙන් බලාගෙන හිටියා” ආනන්ද ඩි සිල්වාට ඒ අතීතය තවමත් අමතක නැත.

ඒ දිනවල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරවල ආහාර ගැනීම සඳහා කෑම ශාලාවට එන විට යුරෝපීය ඇඳුමෙන් සැරසී පැමිණිය යුතු යැයි නියෝගයක් විය.

“රෑ කෑමටත් කලිසම් කමිස ඇඳගෙන එන්න ඕනය කියල නීතියක් තිබුණා. අපි තමයි ප්‍රථම කණ්ඩායම සරොම් ඇඳගෙන රෑ කෑමට ගිය. එක සෙරමෝනියල් ඔකේෂන් එකකදි සර් නික්ලස් ආටිගලත් ඩයිනින් ටේබල් එකට එන දවසදි ටයි එක දාගෙන ගියා.” ගෙවී ගිය අතීතයක තොරතුරු ආචාර්ය වික්‍රමබාහු සිහිපත් කරන්නේ එසේය.

එකල ඩෙරික් ද සූසා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වාමාංශික ව්‍යාපාර කටයුතු මෙහෙයවමින් සිටියේය. ක්‍රිස් රත්නායක මෙන්ම වික්‍රමබාහු කරුණාරත්න ද එහි සාමාජිකයෝ වූහ. දෙදෙනාම සිටියේ එකම කාමරයේය. එනිසා අනික් සිසුන් එය හැඳින්වූයේ “කොමියුනිස්ට් කේව්” කියාය. සමහරුන් පවසන්නේ වික්‍රමබාහු කරුණාරත්නව වාමාංශික ව්‍යාපාරයට ඈඳාගත්තේ ක්‍රිස් රත්නායක බවය. නමුත් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසන්නේ පාසල් වියේ සිටම වාමාංශික ව්‍යාපාරය කෙරෙහි නැඹුරුවක් තිබුණ බවය.

“ක්‍රිස් බාහුව වාමාංශික ව්‍යාපාරයට අරගෙන අද ඔහු ලෝක බැංකු‍ෙව ප්‍රධානියෙක්. බාහු තවම වීදි සටන් කාරයෙක්. සමහර යාලුවො එහෙම කීවාට ඒක වැරදියි.” ආචාර්ය වික්‍රමබාහු තමාගේ ‘රූමා’ වෙනුවෙන් පෙනී සිටියි. විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන සිවිල් ඉංජිනේරුවරයා වශයෙන් කටයුතු කළ ක්‍රිස් රත්නායක, රාජ්‍ය සංස්ථා ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපතිවරයා ද විය. 1989 දී ලෝක බැංකුවේ විදුලි බල ශක්ති අංශයේ ප්‍රධානියා වශයෙන් විශ්‍රාම ලබන තුරුම සේවය කළේය.

“අපේ ෆයිනල් ඉයර් එකේදි ජී.එල්.පීරිස් නීති පීඨයට ඇතුළු වුණා. අපේ බිල්ඩින් එකේ යට තට්ටුවෙ තමයි නැවතිලා හිටියෙ. නියම කූල්ටූරයා. එයාව රැග් කරන්න ආපු වෙලාවෙ මම බේරගත්තා. ඒ කාලෙ හරිම අහිංසකයා” ආචාර්ය වික්‍රමබාහු සමකාලීන සගයකු ගැන සිහිපත් කරයි.

“ඇයි දැන් අහිංසකයකු නොවෙයිද?” පැනය මගෙන්ය.

“දැන් මොන අහිංසක ද?” ආචාර්ය වික්‍රමබාහු පිළිතුරු බැඳීය.

කූල්ටූර් - හරමානිස් භේදය එකල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දැඩිව තිබුණි. සමහර හරමානිස්ලා කූල්ටූර් වීමට උත්සාහ කළහ. එසේම සමහර කූල්ටූර්වරු විශ්වවිද්‍යාලයේ හරමානිස්ලා මෙන් කල්ගත කළහ.

“ක්‍රිස් ඇංග්ලිකන් ආගමේ. ගෙදර සම්පූර්ණයෙන් ඉංග්‍රිසියෙන් කථාකරන කෙනෙක්. ඒත් කැම්පස් එකේ හරමා වගේ හිටියෙ” වික්‍රමබාහු පවසයි.

එකල කූල්ටූර් කාරයන්ගේ කාමරවලට හරමානිස්ලා රාත්‍රියට වතුර ගැසීමේ සිරිතක් තිබුණි. මෙය වැළැක්වීමට ක්‍රිස් රත්නායක පස් හය දෙනෙකුගෙන් සමත්විත ස්වේච්ඡා පොලිස් පැට්රෝල් සේවයක් ක්‍රියාත්මක කළේය. ක්‍රිස් රත්නායකගේ පියා එකල ‍ෙරජිස්ත්‍රාර් ජනරාල්වරයා විය. ක්‍රිස් පියාගෙන් මුද්‍රිත කොළ කීපයක් රැගෙන විත් පොලිස් පැට්රෝල් වාර්තාවක් ද ලියුවේය.

"... දින පැය 22.30 වේලාවට සාජන් බංඩා, පී.සී. සිල්වා සමඟ විශ්වවිද්‍යාලයේ මුර සංචාරය සඳහා පිටත්වූහ.” එවැනි නිර්මාණාත්මක තොරතුරු එහි ඇතුළත් විය.

“1965 වාම සමසමාජ පත්තරෙන් පීලික්ස් ඩයස් ඇමැතිවරයාට අපහාස කළාය කියල මාව අත්අඩංගුවට ගන්න පොලිසියෙන් ආවා. එච්.අයි.ඩී.සිල්වා තමයි එහි ප්‍රධානියා වුණේ. පොලිසිය මගෙ කාමරයේ ෆයිල් පෙරළමින් පරීක්ෂා කළා. ඔය ෆයිල් එකක් අස්සෙ ක්‍රිස් රත්නායකගෙ කූල්ටූර් පොලිසියෙ වාර්තාව ලියපු කොළය ඔවුන්ට හම්බවුණා. මම පොලිස් වාර්තා පොතක් ඉස්සුවා කියල දැන් චෝදනාව. ඒක විශ්වවිද්‍යාල කාලෙ විහිළුවට ලියපු එකක් බව පොලිසියට ඒත්තුගන්වන්න මට ගොඩක් මහන්සි වෙන්න වුණා.” එය ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නට සිදුවූ එක් ඇබැද්දියක් පමණි.

ඉතාමත් ඉස්තරම්ම ආහාර වේල් විශ්වවිද්‍යාල නේවාසිකාගාරයෙන් ලැබුණත් ඉංජිනේරු සිසුහු වරක් ආහාර වර්ජනයක නිරත වූහ. ඒ අතුරු පසට දෙන පලතුරු සලාදයේ මිදි නොමැතිවීම නිසාය.

1965 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා සිසුහු වර්ජනයක නිරත වූහ. ඒ බාහිර සිසුන්ගේ පැමිණීම නිසා අභ්‍යන්තර සිසුන්ට මුහුණ පාන්නට වන තදබදයට විරෝධය පෑමටය. මෙම වර්ජනය නිසා සර් නිකුලස් ආටිගලට උපකුලපති පදවිය අත්හැර යෑමට සිදුවිය. ආචාර්ය වික්‍රමබාහු පවසන්නේ විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරය දැරූ අවසාන නයිට්වරයා සර් නිකුලස් ආටිගල බවය. එයට පෙර එම තනතුර සර් අයිවර් ජෙනිංග්ස් හොබවා තිබුණි.

1965 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසාන පරීක්ෂණයෙන් විශිෂ්ට ලෙස සාමාර්ථය ලැබූ හයදෙනා අතරින් දෙවැනි තැන හිමිවූයේ වික්‍රමබාහු කරුණාරත්නටය. එහි ප්‍රථම ස්ථානය හිමිවූයේ  ආනන්ද විදුහලෙන් පැමිණි එම්.පී. රණවීරටය. ඔහු විශ්වවිද්‍යාලයේ ඩීන් පදවියට පත්විය. තුන්වැනියා වූ බැසිල් තෙන්නකෝන් මොරටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අංශයේ ප්‍රධානියා බවට පත්විය. හතරවැනියා වූ රඹුක්වැල්ලේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේම කථිකාචාර්යවරයෙක් විය.

හැටපහේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් බිහිවූ සියලු දෙනාම ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ බොහෝ රටවල ඉංජිනේරු ක්ෂේත්‍රයෙහි ප්‍රධානීහු සහ ප්‍රමුඛ‍යෝ බවට පත්වූහ. වි.මු.රත්නායක සහ සිරිපාල ජයසිංහ ලින්ක් ඉංජිනියර් ආයතනය ඇරඹූහ. ආනන්ද ඩි සිල්වා ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ ඉංජිනේරු ආයතනයක සභාපති විය. නිව්යෝර්ක් බෞද්ධ පන්සල මාටින් ලූතර් ස්මාරකය, ස්මිත් ‍සෝනියන් ආයතනයේ බිම් මහලේ කෞතුකාගාරය ඔහුගේ නිර්මාණ සංකල්ප විය.

වේරගම දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා බවට පත්විය. සුමිත් කුලතිලක අප්‍රිකාවේ ප්‍රමුඛ පෙළේ ඉදිකිරීම් ආයතනයක් ආරම්භ කළේය. කොන්ඩුඩ් තිසේරා විශ්‍රාම ලැබුවේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ අතිරේක ‍ෙල්කම්වරයා ලෙසය. සරත් චන්ද්‍රසිරි ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා බවට පත්විය. ක්‍රිස් රොඩ්රිගෝ බ්‍රිතාන්‍යයේ ඉදිකිරීම් සමාගමක ප්‍රධානියා විය.

පීටර් කැනියුට් පෙරේරා

(http://sinhala.theindependent.lk/index.php/feature/4123-2014-05-10-07-07-25)

10 comments:

  1. Can someone translate this article into English, please?

    ReplyDelete
  2. Wow!!! Interesting!

    ReplyDelete
  3. Today only got to know Bahu is an engineer

    ReplyDelete
  4. These nostalgic memories are so close to my heart.When they joined Pera EFac as final years we joined as 2nd years.All EFac batches of this era interacted with each other very closely. Last week I copied the EFac group photo taken in 1964 to Ranaweera and some of my batchas and they were thrilled to to identify many dear ones from the EFac family photo.I have posted the 1964 group photo in parts in my FB
    Jeevananda Keerthisena

    ReplyDelete
    Replies
    1. Sir, why don't you translate the article of the first batch in to English

      Delete
  5. Chandrasiri WickramasekaraDecember 24, 2019 at 12:47 PM

    We had the privilege of becoming students of some greats of this batch, namely Dr. Bahu, Ranaweera, Rambukwella, Devotta, GP Karu. All of them were great teachers. Thanks to Dr. Devotta’s exceptional teaching capabilities, today, after 40+ years, I still remember electrical machines equations though I seldom used in my professional carrier

    ReplyDelete
  6. දැනට වසර 25 කට පමණ ඉහත ගාල්ලෙදි මම ටීවී ඇන්ටෙනාවක් ගන්න කඩේකට ගියවිට එහි හිමිකරුව සිටි කාන්තාව මට කිව්වා ඇය මෙම මුල් බැච් එකේ හිටිය බව .ඇයට උපාධිය සම්පූර්ණ කරගන්න බැරිවූ බවත් පැවසුවා. ඇය සමග කතාකලවිට මට හිතුනේ ඇය පවසන කරුණු සත්‍ය බවයි . මට ඇයගේ නම මතක නෑ

    ReplyDelete

Your feedback / comments highly appreciated.

Please send your memories for publication in this blog. Write to efacmemories@gmail.com